කොළඹ නගරයේ මැයි රැළි 17 ක්.

No comments

හෙටට යෙදෙන ලෝක කම්කරු දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට ලහි ලහියේ සූදානම් වනවා. කොළඹ නගරයේ සහ ඒ ආසන්නයේ ප්‍රධාන මැයි රැළි 17 ක් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය කොළඹ හයිඞ් පිටියේදීත්, එක්සත් ජාතික පක්ෂය බොරැල්ල කැම්බල් පිටියේදීත්, ජනතා විමුක්ති පෙරමුණ කොළඹ බී.ආර්.සී. පිටියේදීත් සිය මැයි රැළි පවත්වනු ලබනවා.

එක්සත් ජාතික පක්ෂය මෑත යුගයේ පවත්වන විශාලතම මැයි රැළිය මෙවර සංවිධාන කර ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා අප ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිය මැයි දින රැළිය පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි. ඔවුන් පෙළපාලි 3 කින් කොළඹ හයිඞ් පිටියට පැමිණීමෙන් අනතුරුව සිය මැයි දින රැළිය පවත්වනු ලබනවා.  

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ සිය මැයි දින රැළිය කොළඹ බී.ආර්. සී. පිටියේදී පවත්වන අතර එය මෙවර ආකර්ශනීය ලෙස සංවිධාන කර ඇති බව එහි නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

එමෙන්ම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සිය මැයි රැළිය කිරුලපන ලලිත්  ඇතුළත්මුදලි ක්‍රීඩාංගනයේදී පවත්වනු ලබනවා. මහජන එක්සත් පෙරමුණ, සමාජවාදී ජනතා පෙරමුණ, මහජන පක්ෂය, ප්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ සහ දේශවිමුක්ති ජනතා පක්ෂය ඇතුලූ වෘත්තීය සමිති සංවිධාන එක්වයි මෙම මැයි රැළිය පවත්වනු ලබන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටද මෙම මැයි රැළියට ආරාධනා කර තිබෙන බවයි. ඔහුගේ පැමිණීම තමන් අපේක්ෂා කරන බවද වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, සමාජවාදී සමානතා පක්ෂය, ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය, නිදහස් වෙළඳ කලාප සහ පොදුසේවා සේවක සංගමය, වෘත්තිය සමිති මහා සම්මේලනය සහ ලංකා බැංකු සේවක සංගමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මැයි දින පෙළපාලි සහ රැළි සංවිධාන කර තිබෙනවා


No Comments Yet.

Leave a comment

Sihasara Facebook